Article

මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරයි

15 views

පසුගිය අඟහරුවාදා (03 දා)  පැවති මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේ දි රටේ ඉහළ ආර්ථීක වෘද්ධියක් අපේක්ෂාවෙන් මෙතෙක් වසර දෙකක් තිස්සේ පවත්වා ගෙන ආ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තියේ දැඩි කිරිම් ලිහිල් කිරිමකට යන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා අද 04 දා මුදල් ප්‍රතිපත්ති දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි සදහන්  කළේය.

ඒ අනුව යමින් අඟහරුවාදා (ඊයේ 03 දා )   පැවති මුදල් මණ්ඩල රැස්විමේදි මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝවේ ඉහළ සීමාව වන නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කළේ ය.

උද්ධමනයෙහි සහ උද්ධමන අපේක්ෂාවන්හි හිතකර වර්ධනයන් මෙන් ම, ආර්ථිකයට ළඟා විය හැකි උපරිම වර්ධන මට්ටම සහ පවත්නා වර්ධන මට්ටම අතර පරතරය පුළුල් කිරීමට හේතු වූ සාපේක්ෂ ව අඩු මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තිරණය ගත් බවද සදහන් විය. මෑතක දී දේශීය වෙළෙඳපොළ තුළ දක්නට ලැබුණු පොලී අනුපාතිකවල විචලනය අඩු කිරීමට ද, මෙම තීරණය හේතු වනු ඇතැ යි අපේක්ෂිත ය.

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය අඩු කිරීම සඳහා මුදල් මණ්ඩලය ගනු ලැබූ තීරණය පහත සඳහන් සාර්ව ආර්ථික වර්ධනයන් මත පදනම් වු බව මහ බැංකුව නිවේදනය කළේය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව, 2016 වසර තුළ දී වාර්තා වූ සියයට 4.5 හා සැසඳීමේ දී 2017 වසර තුළ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 3.1ක වර්ධනයක් වාර්තා කරමින් 2017 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන ක්‍රියාකාරීත්වය සාපේක්ෂව අඩු මට්ටමක පැවතුණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගය, මන්දගාමී ව පවතින කෙටිකාලීන වර්ධන අපේක්ෂා වැඩිදියුණු කිරීම සඳහා සහාය වනු ඇතැ යි අපේක්ෂා කෙරෙන අතර, මැදිකාලීන ව තිරසර ඉහළ වර්ධන ප්‍රවණතාවක් කරා ආර්ථිකය යොමු කිරීම සඳහා සැලසුම්ගත ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාදයකින් තොර ව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

ආහාර උද්ධමනය අඛණ්ඩ ව අඩු වීම හා හිතකර පදනම් බලපෑම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය, 2018 වසරේ මාර්තු මාසයේ දී තවදුරටත් මන්දගාමී විය. 2018 වසරේ පළමු මාස දෙක තුළ ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ ද එවැනි අඩු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණි. දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට ප්ර්තිචාර දක්වමින් මූලික උද්ධමනය මැදි-තනි අගයක් මට්ටමට වඩා පහළින් පැවති අතර, උද්ධමන අපේක්ෂා පාලනය වී පැවතුණි. මෙම ප්‍රවණතා අනුව, නුදුරු කාලයේ දී සිදු විය හැකි පරිපාලිත මිල ගණන් සංශෝධන හේතුවෙන් උද්ධමනයට සිදුවන බලපෑම සැලකිල්ලට ගැනීමෙන් අනතුරු ව වුව ද, 2018 වසරේ දී මතුපිට උද්ධමනය ඉලක්කගත පරාසය තුළ පවතිනු ඇතැ යි පුරෝකථනය කෙරේ.

රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය සඳහා රජයේ ප්‍රයත්නය හමුවේ වුව ද, රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම්හි සිදු වූ වෙනස්කම් හේතුවෙන් 2017 වසරේ දී සමස්ත රාජ්‍ය මූල්‍ය හිඟය අ‍පේක්ෂිත මට්ටමට වඩා වෙනස් ‍විය. කෙසේ වෙතත්, බදු ආදායම්වල සහ පුනරාවර්තන වියදම්වල සැලකිය යුතු යහපතයේ ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේ දී ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් සහ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණයෙහි අඩුවීමක් වාර්තා විය. 2018 අප්‍රේල් මස 1 වැනි දින සිට ක්‍රියාත්මක වන දේශීය ආදායම් පනත මෙන් ම, ආදායම් පරිපාලනය වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, ඉදිරි කාලයේ දී රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය සඳහා සහාය වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

මුදල් අංශය සැලකීමේ දී, වාණිජ බැංකු විසින් රාජ්‍ය අංශය වෙත සපයන ලද ණය ප්‍රමාණයේ ඉහළ යෑමක් වාර්තා වුව ද, පුළුල් මුදල් සැපයුමේ වර්ධනය සහ පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය 2018 වසරේ පළමු මාස දෙක තුළ දී මන්දගාමී විය. බොහෝ වෙළෙඳපොළ පොලී අනුපාතික ඉහළ මටටම්වල ස්ථායි ව පැවති අතර, උද්ධමනය පහළ යෑමත් සමඟ ම මූර්ත පොලී අනුපාතික ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේ ය. කෙ සේ වෙතත්, මෑතක දී කෙටිකාලීන වෙළෙඳපොළ පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ යෑමක් පෙන්නුම් කළ බැවින් එවැනි විචලනයන් අවම කිරීම සඳහා නිසි මෙහෙයුම් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම අවශ්‍ය විය.

ඉහත සාධක මත පදනම් ව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමේ අවශ්‍යතාවක් පවතින බව මුදල් මණ්ඩලයේ අදහස විය. විශේෂයෙන් ම, උද්ධමනයේ සහ උද්ධමන අපේක්ෂාවල හිතකර වර්ධනයන්, මුදල් අංශයේ ප්‍රවණතා සමඟ අඩු ආර්ථික වර්ධන ක්‍රියාකාරීත්වය යන කරුණු මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයලිහිල් කිරීම සඳහා පදනම් වන සාධක වේ. මේ අතර, ගෝලීය ආර්ථික වර්ධනයන් සහ දේශීය රාජ්‍ය මූල්‍ය අංශය වෙතින් ඇති විය හැකි අවදානම් ඉදිරි කාලයේ දී සමීප ව අධීක්ෂණය කළ යුතු සාධක වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 25කින් පහළ දැමීමට ගත් තීරණයත් සමඟ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 8.50ක් වන අතර, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 7.25 මට්ටමේ නො වෙනස් ව පවතී.

අඩු උච්චාවචන සහිත ව කෙටිකාලීන පොලී අනුපාතික යෝග්‍ය මට්ටමේ පවත්වා ගැනීමට ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝව පටු කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවට සහාය වනු ඇත. මේ අතරේ පසුගියදා අවසන් වූ පළාත් පාලන මැතිවරණයේ අනපේක්ෂිත ප්‍රතිඵලත් සමඟම රට තුළ මොදු වෙමින් පවත්නා දේශපාලන අස්ථාවර බව කෙරෙහි මේ වන විට දෙස් විදෙස් ආයෝජක ඇස යොමුව තිබේ.

මෙම  මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතාද මේ බව අවධාරණය කරමින් සඳහන් කළේ රට තුළ පැන නගිමින් පවත්නා මෙම අස්ථාවරත්වයන් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරිමේ අවශ්‍යතාවයයි.

විශේෂයෙන් මේ මොහොතේ රටට අත්‍යවශ්‍ය පවත්නා විදේශ සෘජු ආයෝජන ගෙන්වා ගැනිමටත් තීරණාත්මක අනිකුත් අපනයන හා රාජ්‍ය ආදායම් ප්‍රවර්ධක ආර්ථීක, වාණිජ හා මුල්‍ය නිර්ණායක සපුරා ගැනිමටත් මෙම දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍ය කරුණක් වි තිබේ.

 

News Monetary Policy Review – No. 2 of 2018 Central bank of Sri Lanka by randoralk on Scribd

Leave a reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *