රටේ අර්බුදය ජය ගැනීමට රාජ්‍ය සේවයට කළ හැකි දේ

කළමනාකරණය සිංහලෙන්

නිශාන්ත කමලදාස ලියයි

අපට ඛණිජ තෙල් අර්බුදයක් තිබේ. හෙට අනිද්දා යුක්රේන් යුද්ධයත් සමග එය තවත් දරුණු වනු ඇත. රාජ්‍ය සේවය තුළ කරන සුළු ප්‍රතිසංස්කරණ කීපයක් මගින් මේ අර්බුදයට විශාල ම නොවුනත් සුළු මට්ටමේ සහනයක් ඇති කළ හැකි ය. ඒ රාජ්‍ය ආයතන වලට පැමිණෙන්නේ නැතිව ඒවායින් සේවය ලබා ගැනීමට මහජනයාට හැකි වන පරිදි තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම හරහා ය.

නැතිවුනු හැඳුනුම්පතක් පිළිබඳ පැමිණිල්ලක් කිරීමට කෙනෙකු පෞද්ගලිකව පොලීසියට යා යුතු ය. මේ ගමන් බිමන් බොහෝමයකට වාහනයක් තියෙන කෙනෙක් පයින් යන්නේ නැත. අමතර වාහනයක් පාරට දමන විට එයින් සිදු වන අනර්ථයන් විශාල ය. එකක් ඉන්ධන දහනය ය. අනෙක පෞද්ගලිකව වැය වන මුදල් ය. රටට විදේශ විනිමය ය.  අනෙක පරිසරයට වන හානිය ය. අනෙක වාහන තදබදයට පාර කැපීම ය.

ඒ වෙනුවට පොලීසියේ වෙබ් අඩවියක් හරහා මේ පැමිණිල්ල ගොනු කිරීමට සේවාලාභීන්ට අවස්ථාවක් පහසුවෙන් ලබා දිය හැකි ය. අවශ්‍ය නම් ගාස්තුවක් ද අයකර ගත හැකි ය.

මා ඉහත දැක්වූයේ එක් උදාහරණයක් පමණ ය. එහෙත් රාජ්‍ය නිලධාරීන් විමසන්නේ නම් මිනිසුන් මෙසේ යන එන ගමන් ප්‍රමාණය විශාල වශයෙන් අඩු කිරීමට බොහෝ අවස්ථා ඇති බව ඔවුන්ට ම සොයා ගන්නට ලැබෙනවා ඇත.

ප්‍රාදේශීය සභාවක බදු මුදල් ගෙවීමට තවමත් පෞද්ගලිකව යා යුතු ය. හැඳුනුම් පත්‍රයක් සඳහා අයදුම්පත් ඇතුළු සියල්ල බාර දුන් අයෙක් වුව එය දිනක් ඇතුළත ගැනීමට සිතන්නේ නම් ඒ සඳහා ලියා පදිංචි වීමට ද පෞද්ගලිකව යා යුතු ය.

මේ තත්වය ඇති කිරීමට අවශ්‍ය වන්නේ රොකට් තාක්ෂණය නොවේ. සරල තොරතුරු තාක්ෂණය ය. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික ඥානය රට තුළ තිබේ.

ප්‍රශ්නය මෙවැනි පහසුවෙන් ගත හැකි පියවර තිබිය දී මේ ගැන රජය ද රාජ්‍ය නිලධාරීන් ද උකටලී වීම ය. මෙවැනි දෑ සිදු නොවන්නේ මන් ද?

තමන්ගේ ප්‍රශ්නයක් ලෙස නොසලකන තාක් කල් එය ප්‍රශ්නයක් සේ නොසැලකීම ද? තමන්ට රජයේ වාහන ලැබී ඇති නිසා ද ඒ සඳහා පිටත් කර හැරිය හැකි පරිවාර සෙනඟ ඇති නිසා ද එවැනි ගමනක් ගමනක් ලෙස ඔවුන්ට නොදැනෙන නිසා ද?

තෙල් පිච්චෙන්නේ මහජනතාවගේ වාහන වල ය. රස්තියාදු වන්නේ ද ඔවුන් ය. විදේශ විනිමය අහිමි වන්නේ රටට ය. හානියක් වන්නේ තමන්ට නොව පරිසරයට ය. වාහන තදබදය දැනෙන්නේ රියැදුරන්ට මිසක වාහන වල යන එන නිලධාරීන්ට නොවේ ය.  ඒ නිසා නිලධාරීන්ට ගායක් නැතිවාවත් ද? උනන්දුවක් නැති කමට අමතරව තවත් හේතු තිබේ ද?

නොදන්නා කම ද? සම්පත් වල හිඟය ද? තීරණ ගැනීමට ඇති බිය ද? නව දේවල් කිරීමට ඇති බිය ද? තමන්ගේ බලය අඩු වනවාට ඇති නොකැමැත්ත ද? බලය ප්‍රදර්ශනයට අවස්ථාවක් නැති වෙනවාට ඇති අකමැත්ත ද? ලැබෙන්නට නියමිත ගත මනාවක් අහිමි වී ඇතැයි යන බිය ද? තොරතුරු තාක්ෂණය පිළිබඳ ඇති සැකය ද? ඒවායේ සුරක්ෂිතතාවය පිළිබඳ ඇති අවිනිශ්චිතතාවය ද? ජන්මෙට වඩා පුරුද්ද ලොකු වීම ද?

සමස්ත රාජ්‍ය සේවය තුළ ම මෙය දැනෙන තැනක් නැති විය හැකි ද?

ICTA ආයතනයට කළ හැකි එක් කාර්යයක් නම් මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීම ය. විශ්ව විද්‍යාලවලට ද මීට දායක විය හැකි ය. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයට ද (SLIDA) ඊට දායක විය හැකි ය. උත්තර ඉක්මණින් සොයා ගන්න තරමට මහජනයාට පමණක් නොව රටට ද වාසි ය.

 

මෙම  සටහන් වල කර්තෘ නිශාන්ත කමලදාස ය. වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙක් වන ඔහු සිය පශ්චාත් උපාධිය සදහා හැදෑරුවේ ව්‍යාපාර කළමනාකරණයයි. එහි ප්‍රතිඵලයක් ලෙස කළමනාකරණ ක්ෂේත්‍රයට පිවිසි ඔහු සිංහලෙන් ලියන ලද පොත් 8 ක් ද එම ක්ෂේත්‍රයට දයාද කර ඇත. මේ ම සටහන්  කළමනාකරණ දැනුම සිංහල භාෂාවෙන් ප්‍රචලිත කිරීමට ඔහුට ඇති වුවමනාව නිසා ඇති කළ තවත් එක් යාන්ත්‍රණයකි.

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Zeen is a next generation WordPress theme. It’s powerful, beautifully designed and comes with everything you need to engage your visitors and increase conversions.

Zeen Subscribe
A customizable subscription slide-in box to promote your newsletter
[mc4wp_form id="314"]